නත්තල් දිනය 2021

නත්තල් දිනය සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ දිනයයි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ සමඟ සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය දෙසැම්බර් 25 වන දින සමරයි. නමුත් ආගම්ක සභාව හෝ නිකාය අනුව සමහරක් සංස්කෘතීන් සහ සමාජ විසින් විවිධ දිනවල නත්තල සමරනු ලබයි.  ජෙරුසලෙමේ ආර්මේනියානු ජාතිකයන්, ආර්මේනියානු අපෝස්තලික සභාව හා කතෝලික සභාව ජනවාරි 6 වන දින නත්තල සමරයි. ඇලෙක්සැන්ඩ්‍රියවේ කොප්ටික් ඔර්තොඩොක්ස් පල්ලිය ජනවාරි 7 හෝ 8 දිනයේද රුසියාව, ජෝජියා, යුක්රේනය, මැසිඩෝනියාව, මෝල්දෝවා, මොන්ටෙන්ග්‍රෝ, ස්‍ර්බියාව හා ජෙරුසලෙමේ ග්‍රීක පාත්‍රියාතික ඔර්තොඩොක්ස් පල්ලි හා ඉතියෝපියානු ඔර්තොඩොක්ස් පල්ලි ජනවාරි 7 වන දින නත්තල සමරයි.

දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේදී ජේසු කුමරුන් ජුදියා හි බෙත්ලෙහෙමේ දී ගව ලෙනක උපන් බවත්, උන්වහන්සේගේ  පියා නසරෙත් නම් ගමේ විසු ජුසේ තුමාණන් වන අතර මව මරිය තුමිය වේ.  මෙම අසිරිමත් දිනයේ අහසේ සිදු වු වල්ගා තාරකාවක බැබළීම දුටු ප්‍රඥාවන්තයෝ තිදෙනෙක් ඒ ආලෝකය ඔස්සේ බෙත්ලෙහෙමේ බිලිඳුන් උපන් ස්ථානයට පැමිණ ලෝකයට ඉමහත් සේවයක් කරන උතුම් උපතක් සිදු වී ඇති බව අවබෝධ කරගෙන තමන් රැගෙන ආ පඬුරුවලින් බිලිඳු පිදුහ. ඒ නත්තල් උත්සවයට හේතු වු අසිරිමත් සිදුවීම වන අතර ජේසුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබා ගත් දේව පුත්‍රයා ලෙස කිතුනුවෝ හදුන්වති. එතුමාගේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදීම නත්තල් උත්සවයේ දී සමරනු ලබයි. සෑම වසරකම දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දේවස්ථානයට රැස්වන කිතුනු බැතිමතුන් ජේසු උපත උත්සවාකාරයෙන් සමරනු ලබයි.

දේවස්ථානය හා නිවාස අලංකාරවත්ව සැරසීම, ගවලෙන් සෑදීම හා නත්තල් ගස් අලංකාර කිරීම මඟින් නත්තල් උත්සවයට දින ගණනාවකට පෙර කිතුනු බැතිමතුන් සූදානම් වේ .තවද අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීම මෙන්ම, ප්‍රණීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ චාරිත්‍රයකි. නත්තලට බොහෝ දෙනා සුබපැතුම්පත් හුවමාරු කරයි. එසේම  නත්තල් සීයා හා  ත්‍යාගය හුවමාරු කර ගැනීම ද නත්තලේ සුවිශේෂී අංගයකි. එදිනට දුගී ජනතාවට ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන් ම තෑගිබෝග බෙදාදීම සිදු කරයි.  නත්තල් සැමරුම් අවස්ථා වලදී කණ්ඩායමක් එකතුව නත්තල් කැරොල් ගායනයද ඉතාමත් විචිත්‍ර අංගයක්.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට දායාද කළ සාමයේ, ආදරයේ, සහෝදරත්වයේ හා බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර 2021 නත්තල සමරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් පවසා තිබේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම විනෝදාස්වාදය ගැන පමණක් නොසිතා නත්තල් උත්සවය දිළිඳු අසරණ අයට පිහිට වීමේ අවස්ථාවක් බවට පත් කර ගත යුතු බවයි. නත්තල් උත්සවය හුදෙක් සංස්කෘතික උත්සවයක් හෝ සමාජීය උත්සවයක් නොවන බවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් මගෙහි ගමන් කිරීම සෑම කිතුනුවකුගේම වගකීම බවත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පිහිට වෙමින් මෙවර නත්තල ප්‍රීතිමත් නත්තලක් බවට පත් කර ගන්නා ලෙසත්, ශරීරය සහ මනස තෘප්තිමත් කර ගැනීමට ආත්මාර්ථයෙන් කටයුතු කළහොත් නත්තලට පසුදා දැනෙන්නේ ඉතාමත් හිස් බවක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේ පෙන්වා දුන්නේ, ගව මඩුවක සතුන් මැද නිහතමානී පරිසරයක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ යථාර්ථය අමතක කර කිසිවකුට නත්තල් උත්සවය සැමරීමට නොහැකි බවයි. මෙවර නත්තලේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණු, ආදරය - දයාව පිරුණු සහෝදර ජනතාවගේ බඩඟින්න දැනෙන ගැඹුරු කැපවීමක් අත්දකින නත්තල් උත්සවයක් සමරන්නට ආශිර්වාද ලැබේවා! කියා ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.