උඳුවප් පුර පසළොස්‌වක පොහොය

උඳුවප් පොහොය ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව වර්ෂයේ අවසාන පොහොය දිනයයි එදින සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.

  • ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.

  • ලක්දිව මෙහෙණි සස්න පිහිටුවිම

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීමද සිදුවූ‍ෙය් උඳුවප් පොහොය දිනයේදීය.

  • ශ්‍රී පාද සමය ආරම්භ වීම

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි. පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටය. ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට (වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී.
උඳුවප් මාසය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයටද වඩාත්ම වැදගත් මාසයක් සැළකේ.

මෝසම් වැසිවලින් කෙත් වතු සරුකර ගැනීම උදෙසා අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී එළි පෙහෙළි කරගත් හේන්වල බව භෝග සිටුවන්නේද මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය. විශේෂයෙන් උඳු වපුරන මාසය උඳුවප් යනුවෙන් හදුන්වා තිබේ.