ඉල් පුර පසළොස්වක පොහොය

වස්සාන ඍතුවේ අවසාන දිනය වන ඉල් පුර පසළොස්වක පොහෝදා සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.

  • ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම
  • තුන්බෑ ජටිල දමනය හා ආදිත්ත පරියාය සූත්‍ර දේශණය
  • මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම
  • අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම
  • භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම
  • චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම

ධර්මදූත පිරිස ඇමතීම             
බුදු සසුන තුළ පස් නමකගෙන් ඇරඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබාගත් යස කුල පුත්‍රයා සහ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැටනමක් බවට පත් වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව මුල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ.
මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද, මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුනෙමි.
නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුණාහුය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක මඟින් නොයන්න. මහණෙනි, මුල, මැද, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න. ස්වල්ප වූ රාගාදී කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීමෙන් පිරිහෙති. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.

තුන්බෑ ජටිල දමනය හා ආදිත්ත පරියාය සූත්‍ර දේශණය
එකල උරුවෙල් දනව්වෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යැයි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යප පන්සියයක් ජටිලයන්ට ද, නදී කාශ්‍යප තුන් සියයක් ජටිලයන්ට ද, ගයා කාශ්‍යප දෙසීයයක් ජටිලයන්ට ද, ප්‍රමුඛාචාර්ය ව සිටියහ. ඔවුහු උරුවෙල් දනව්වෙහි නේරංජනා ගඟ අසබඩ අසපු ඉදිකරවාගෙන වාසය කළහ. බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපයන්ගේ අසපුවට වැඩමවා “කාශ්‍යප, ඔබට කරදරයක් නොවන්නේ නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමි’යි, වදාළ සේක. එයට උරුවේල කාශ්‍යප දුන් පිළිතුර නම් “මහා ශ්‍රමණයන් වහන්ස, මට කිසි කරදරයක් නොමැත. මෙහි දරුණු වූ ඍද්ධි ඇති, වහා පැතිරෙන විස ඇති, දරුණු විස ඇති නා රජෙක් වෙයි. ඒ නාරජ නුඹ වහන්සේ වෙහෙසට පත් නො කෙරේවා යන්නයි. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුලුව තණ ඇතිරියක් පනවා කය ඍජුව තබා සිහිය පිහිටුවා වැඩසිටි සේක. එවිට ඒ නාගයා බුදුරදුන් දැක නො සතුටු සිත් ඇති ව තදින් දුම පිට කළේ ය. ඉක්බිති ව උන්වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් තදින් දුම විහිදවූහ. පසුව නාගයා ක්‍රෝධ ගින්නෙන් වෙළීගත් අතර, බුදුරදුන් තේජෝ ධාතුවට සමවැද ඍද්ධිමය ගින්නෙන් බැබළුණි. මුලු ගිනිහල්ගෙය ම ගින්නෙන් ඇවිල ගත්තාක් සේ හාත්පසින් දිලිසෙමින් ගිනිදැල් විහිදීමට විය. එය දුටු ජටිලයෝ ගිනිහල්ගෙය වටා රැස්වී මනා රූ ඇති මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා විසින් පීඩා පමුණුවන ලද්දේ යැයි කීහ. රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහාගෙන ගොස් උරුවේල කාශ්‍යපට පෙන්වූ සේක. එය දුටු ඔහු “මෙතරම් චණ්ඩ නාගයකු ගේ තෙද සිය තෙදින් නසා දැමූ මහා ශ්‍රමණයන් වහන්සේ හට මහත් ඍද්ධි ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය” යන අදහසින් යුක්ත විය. පසුව තවත් බොහෝ ප්‍රාතිහාර්යයන් දැක්වූ බුදුරදුන් අවසානයෙහි උරුවේල කාශ්‍යප තුළ පැවති තමා රහතන් වහන්සේ නමක් ය යන මතය වැරැදි බව පෙන්වා දුන් සේක. එය පිළිගත් උරුවේල කාශ්‍යප ප්‍රමුඛ ජටිල පිරිස හිස කෙස් ද, ජටා මඩුලු ද, තවුස් පිරිකර ද ගිනි පුදන උපකරණ ද, නේරංජනා ගඟෙහි පා කොට යවා බුදුරදුන් වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියහ. උන්වහන්සේ ඔවුහු ඒහිභික්ඛු සම්පත්තියෙන් පැවිදි උපසම්පදා කළහ. ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණියහ. එහි දී ඔවුන් පැවිදි වී සිටිනු දැක කරුණු විමසා ස්වකීය පිරිවර සමඟ එකතුව තවුස් පිරිකර සියල්ල ගඟෙහි පා කොට යවා පැවිදි වූහ. ගඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිස ද නදී කාශ්‍යප සේ ම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන සිය පිරිස සමඟ පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහි දී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත්භාවයට පත්වූහ.

මෙත් බෝසත් විවරණය
මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ වප් පොහොය දිනෙක අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි.
ඉක්බිති ව ඉල් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා”ඔබ වනාහි මේ මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නේ යැ”යි, නියත විවරණ දුන් සේක.

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම
අගසව් සැරියුත් මහරහතන් වහන්සේ ස්වකීය උපන් ගම වූ නාලක ගමේ දී පිරිනිවන් පෑමත්, මව වූ රූපසාරි බැමිණිය මාර්ගඵල ලැබීමත් සිදුවූයේ ද ඉල් පොහොය දිනෙක ය.

පසුවස් පවාරණය හා කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය
ඇසළ පොහෝදා පොහොය විනය කර්මය කොට අව පෑළවිය හෙවත් ඊට පසුවදා පෙරවස් සමාදන්වී වස් ආරක්ෂා කර, වප් පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි. නිකිණි පොහෝදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන් වී ඉල් පොහෝදා වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි.
මේ ඉර හදයට සිදුකළ හැකි අගනාම පින්කම් අටක් පිළිබදව ශාසනයේ සඳහන් වේ. ඒවා අටමහ කුසල් නමින් හැදින්වේ. ඒවානම් කඨින පින්කම, අටපිරිකර පූජාව, ආවාස දානය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝටාය දෙන දානය, ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුද්ධ ප්‍රතිමා පූජා කිරීම. වැසිකිලි කැසිකිලි පූජාව යන අටයි. මේ පින්කම් වලින් ප්‍රධානතම පින්කම කඨින චීවර පූජාවයි. එහි ආනිසංස ප්‍රමාණ කල නොහැකි බව නාගිත ථේරාපදානයෙහි පැහැදිලිවම දක්වා තිබේ. ඉතාම කෙටියෙන් දක්වතොත්
1. කඨින දානයෙහි ආනිසංස ලෙස කල්ප තිහක් දුගතියෙහි නූපදීමි.
2. කල්ප අටක් දෙව්ලොව වාසය කල අතර තිස් හතර වතාවක් සක්දෙව් රජබව ලැබුවෙමි.
3. ගැසූ එක් ඉදිකටු පහරක් පාසා තිස් හතර වතාව බැගින් සක්විති රජබව ලැබුවෙමි.
4. උපනුපන් හැම තැනම සියලූ සම්පත් ලදිමි.
ආදී වශයෙන් නාගිත හිමියන් කඨින ආනිසංස දේශනා කළ වදාළ සේක. එවන් මහා කඨින පින්කම් සිදුකළ හැකි අවසන් දිනය ඉල් පොහොය දිනය වන්නේය.

අනුබුදු මිහිදු හිමියන් ඇතුලූ ප්‍රථම ලාංකීය භික්ෂුව වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ සහ තවත් රහත් භික්ෂූන් වහන්සේ පනස් නවයක් වතාවත් කිරීමට පූජනීය ස්ථාන අවශ්‍ය බව දෙවන පෑතිස් රජුට දැන්වූයේ අදවන් දිනකය. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් කළ ථූපාරාමය අපිට දායාද විය.