Interview tips for Public Service - රාජ්‍ය සේවා සම්මුඛ පරීක්ෂණ සඳහා උපදෙස්

රාජ්‍ය සේවක බඳවා ගැනීම් විභාග වලදී පවත්නා අනුමත පුරප්පාඩු ගණන අනුව ඉහලම ලකුණු ගන්නා අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් සිදු කරනු ලබයි. මෙහිදී සමහරක් සම්මුඛ පරීක්ෂණ වලදී අපේක්ෂකයාගෙන් අදාළ විෂය ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රශ්න විමසා ලකුණු ලබා දීමක් සිදු කරයි. එලස සම්මුඛ පරීක්ෂණය මඟින් ලකුණු ලබා දී තෝරා ගැනීමක් කරන්නේ නම් බොහෝ විට පවත්නා පුරප්පාඩු ගණනින් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීම් කරයි. (උදා: රාජ්‍ය පරිපාලන තරඟ විභාග) සම්මුඛ පරීක්ෂණය මගින් ලබා දෙන ලකුණු ලිඛිත පරීක්ෂණ වල ලකුණු හා එකතු කර ඉහලම ලකුණු පදනම මත පත්වීම් ලබා දීම සිදු කරයි.

සම්මුඛ පරීක්ෂණය තුලින් අපේක්ෂකයාගේ සුදුසුකම් හා යෝග්‍යතාව පමණක් පරික්ෂා කරන්නේනම් පුරප්පාඩු ගණනට වඩා වැඩි කැදවීම් නොකරයි. සම්මුඛ පරීක්ෂණය තුලදී ලකුණු ලබා දීමක් හෝ ඇගයීමේ ක්‍රමයක් පවතීනම් එම ප්‍රශ්න අසන විෂය ක්ෂේත්‍ර හා ලකුණු ලබා දීමේ ක්‍රම වේදය තනතුරේ සේවා ව්‍යවස්ථාව, විභාග දැන්වීම් ගැසට් පත්‍රය හා ඔබගේ සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපිය මගින් දැනුවත් කෙරේ. එහිදී ඔබ ලබා දෙන පිළිතුරු අනුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ එකගතාවයෙන් ලකුණු ලබා දීමක් සිදු වේ. ඔබ ලබා ගන්නා ලකුණු එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමක් සිදු නොවන අතර සෑම ප්‍රශ්නයකටම සාර්ථක පිළිතුරු ලබා දී ඇත්නම් ඔබට සම්පුර්ණ ලකුණු හිමිව ඇත. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ඉහල මාණ්ඩලික සේවයක සාමාජිකයින් 5 ක් හෝ 3 දෙනකුගෙන් සමන්විතය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරියකු අනිවාර්යයෙන් සහභාගී වේ. විශේෂිත අවස්ථා හැර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයන්ගෙන් එක් අයෙකු අවම වශයෙන් කාන්තා නිලධාරිනියකු වේ. මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැඩි කැමැත්ත මත තීරණ ගැනීම සිදු වේ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා නිලධාරීන් පත්කිරීම රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය මත සිදු කරයි.

තනතුරට අවශ්‍ය මුලික සුදුසුකම් වලට අදාලව ඔබගේ සහතික හා ලිපි පරික්ෂා කිරීම මෙහිදී සිදු කරේ. සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියේ ඔබ රැගෙන ආ යුතු සහතික හා ලිපිද ඒවායේ පිටපත් රැගෙන ආ යුතුනම් එයද සඳහන් කරනු ලැබේ. ඊට අමතරව ඔබ රැස් කර ගෙන ඇති සහතික පත්‍ර සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන යාම අනවශ්‍යය. ඒවා කිසි ලෙසක පරික්ෂා කිරීම, ඒවා මත ප්‍රමුකත්වය දීම සිදු නොකරයි. ඔබගේ සහතික වල මුල් පිටපත් සමඟ ඡායා පිටපත් පරික්ෂා කර ඡායා පිටපත් සත්‍ය යයි තහවුරු කර ගෙන මුල් පිටපත් ඔබට නැවත ලබා දීම සිදු කරයි. ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය මගින් අනුමත ග්‍රාම සේවා සහතිකය හා විශේෂිතව ඉල්ලා ඇති චරිත සහතික වේ නම් ඒවායේ මුල් පිටපත් ලබා ගැනීම කරයි. යම් හෙයකින් ඔබට සම්මුඛ පරීක්ෂණ දිනට අවශ්‍ය සහතිකයක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කිරීම නොහැකිනම් එයට යම් සීමිත කාලයක් ලබා ගත හැක. එවැනි ප්‍රමාදයකදී ඔබගේ පත්වීම ලැබීමද ප්‍රමාද විය හැක. සහතික හා ලිපි වල ඔබගේ සම්පුරණ නමෙහි යම් වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමද අනිවාර්යය වේ. සාර්ථක සම්මුඛ පරීක්ෂණයකට සුදානම් වීම හා මුහුණ දීමට පහත උපදෙස් අනුගමනය කරන්න. සම්මුඛ පරීක්ෂණය සඳහා ලිපිය ලැබුණු වහාම අවශ්‍ය සහතික හා ලිපි වල මුල් පිටපත් ඔබ ලග තිබේදැයි තහවුරු කර ගන්න. නැත්නම් ඒවා හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්න. ග්‍රාම සේවක සහතිකය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් අනුමත කර ගන්න. චරිත සහතික ඉල්ලා තිබේ නම් ඒවා වගකියයුතු පුද්ගලයකුගෙන් පමණක් ලබා ගන්න. අදාල ලිපි වල නිල මුද්‍රා සටහන්ව තිබේදැයි තහවුරු කර ගන්න. ඔබේ සහතික හා ලිපි වල නමේ වෙනස් කම් තිබේදැයි හොදින් නිරීක්ෂණය කරන්න. අවශ්‍ය මුලික සහතික හා ලිපි වල නමේ වෙනසක් පවතීනම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් බලයලත් සාම විනිසුරු වරයකුගෙන් ලබා ගන්න. සහතික හා ලිපි වල ඡායා පිටපත් ඉල්ලා තිබේනම් ඒවා කලින් සකසා තබා ගන්න. ඡායා පිටපත් වෙනමද මුල් පිටපත් වෙනමද සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියේ සඳහන් පිළිවෙලට ගොනු කර තබා ගැනීම පහසුය.

සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දීමක් සිදු වේ නම් අදාල විෂය ක්ෂේත්‍ර වලට නියමිත කරුණු පිලිබඳ ඔබේ දැනුම වර්ධනය කර ගන්න. පොත් පත්, අන්තර්ජාලය, සම්මන්ත්‍රණ හා හිත මිතුරන් මාර්ගයෙන් කරුණු කාරණා ගැන දැනුවත් විය හැක. මීට පෙර එවැනි සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වී ඇති අයකු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම යෝග්‍යය.

සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ ඇදගෙන යන ඇඳුම ගැනද කල් තියා සුදානම් වෙන්න. පිරිමි අපේක්ෂකයකු ටයි පළදනාවක් සහිතව අත් දිග කමිසයකින් හා දිග කලිසමකින් සැරසීමද, කාන්තා අපේක්ෂිකාවක්නම් ප්‍රියමනාප සාරියකින් හෝ ඔසරියකින් සැරැසී පැමිණීමද යෝග්‍යය. සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය පිහිටීම හා ඊට යන ගමන් මාර්ගයන් ගැන නොදන්නේනම් ඒ ගැන කල් තියා දැනුවත් වෙන්න. සම්මුඛ පරීක්ෂණ දින කල් ඇතුව ඊට සහභාගී වන්න.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට යාමට පෙර ඔබගේ සහතික පරික්ෂා කර සැකසීම එහි පත් කර ඇති කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. එහිදී ඔබගේ ජාතික හැදුනුම් පත හෝ පිළිගන්නා අනන්‍යතා පත්‍රයක්ද ඉල්ලා තිබෙන සහතික හා ලිපිද ඉදිරිපත් කර යුතුය. ඔබට කැදවීම් ලැබුණු පසු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත අචාරශීලි ලෙස සිනහමුසු මුහුණින් ඉදිරිපත් වන්න. ඔවුන් කී පසු අදාල ආසනයේ අසුන් ගන්න. කලබල වීම් හෝ හදිස්සි වීම් වලින් තොරව ප්‍රශ්නය හොදින් තේරුම් ගෙන බියෙන් සැකෙන් තොරව පරීක්ෂණ මණ්ඩලය විමසන තොරතුරු වලට පැහැදිලිව පිළිතුරු දෙන්න. පරීක්ෂණ මණ්ඩලය හැකි තරම් දුරට පරීක්ෂණ කාලය තුල සතුටින් තැබීමට උත්සහ කරන්න. අවසානයේ ඔවුන්ට ස්තුති කර එම ස්ථානයෙන් බැහැර වන්න. මණ්ඩලයේ නිලධාරීන්ට අතට අත දී ආචාර කිරීමක් රාජ්‍ය අංශයේ සිදු නොවේ.