2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවන දිගහැරුම 2021 වසර සඳහා දෙසැම්බර්  05 ආරම්භව දෙසැම්බර් 23 වෙනිදා දක්වා පවත්වන ලදී. මුලික වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අනෙකුත් අවසන් තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන යේද පවත්වන ලදී. COVID 19 වයිරස හේතුවෙන් සෞඛ්‍ය අංශ වල නිර්දේශ අනුව පසුගිය 2020 දී පැවති පළමු තරඟාවලිය නැරඹීමට ප්‍රේශ්‍රකයන්ට අවස්ථාව නොලැබුනද මෙවර ක්‍රීඩාංගනයේ ප්‍රේශ්‍රක ධාරිතාවෙන් 50% ක පිරිසකට සෞඛ්‍ය උපදේශ අනුව හා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ප්‍රේශ්‍රකයන්ට සජීවීව ක්‍රීඩාංගනයේ සිට තරඟ නැරඹීමට අවස්ථාව දෙන ලදී.

මෙවර තරඟාවලිය සදහා කණ්ඩායම් සංඛ්‍යාව පහේ සිට හය දක්වා වැඩි කිරීමට මුලින් සැලසුම් කර තිබූ නමුත් ජැෆ්නා කිංග්ස්, කැන්ඩි වෝරියස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් 05 පමණක් එක්ව සිටිය අතර තරඟ 24 කින් යුක්ත විය. පසු ගිය වසරේ පැවති තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් වල නම් වල වෙනස් කම් පැවතීම මෙවර කැපී පෙනෙන ලක්ෂණයකි. 2021 සැප්තැම්බර් මාසයේදී දඹුල්ල වයිකින් අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට්ස් ලෙස වෙනස් කළේය. ජැෆ්නා ස්ටාලියන්ස් ද එම මාසයේ පසුව ඔවුන්ගේ නම ජැෆ්නා කිංග්ස් ලෙස වෙනස් කළේය. 2021 ඔක්තෝම්බර් මාසයේදී, කැන්ඩි ටස්කර්ස් නව හිමිකරුවන් සිටින බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය. 2021 නොවැම්බර් මාසයේදී කලම්බු කිංග්ස් නව හිමිකරුවෙකු විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ නම කලම්බු ස්ටාර්ස් ලෙස වෙනස් කරන ලදී.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගනිමින් 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට තිසර පෙරේරා නායකත්වය දැරූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. භානුක රාජපක්ෂ නායකත්වය දැරූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එහිදී යළිත් වරක් අනුශූරයින් බවට පත් විය.

අවසන් මහ තරගයේ වීරයා සහා තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු. මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකය වාර්තා වූයේද අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන්. ඔහු මෙවර තරගාවලියේදී ශතකයක් සහා අර්ධ ශතක දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක් වූ අතර එය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 327 ක් ලැබූ කුසල් මෙන්ඩිස්ට පමණක් දෙවැනි වේ. තරගාවලියේ වැඩිම කඩුළු සංඛ්‍යාව ලබාගත් සම ස්ථාන සමිත් පටෙල් හා මහේෂ් තීක්ෂණ අත්කරගෙන තිබේ. ඒ කඩුළු 16 බැගින් ලබාගෙනය. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ජනිත් ලියනගේ හා ශක්තිවන්තම ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා සම්මාන ලැබිය.