ලොව විශාලතම දූරේක්ෂය "ජේම්ස් වෙබ්"

ඩොලර් බිලියන 10 ක පමණ වියදමෙන් සෑදූ ලොව විශාලතම දූරේක්ෂය වන ජේම්ස් වෙබ් දෙසැම්බර් 25 පෘථිවියෙන් අභ්‍යවකාශය කරා ගමන් ඇරැඹීය. ප්‍රංශ්‍ර ගිනියාවේ කොවුරොව් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ඒරියන් රොකට්ටුවක් ආධාරයෙන් මේ උපකරණය රැගෙන යනු ලැබීය. ඇපලෝ චන්ද්‍ර ගමනේ නිර්මාණ ශිල්පීන් අතුරින් කෙනකු වූ ජේම්ස් වෙබ්ගේ නමින් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ දූරේක්ෂය පෘථිවියේ කෙන්යාවේ මාලින්දි නම් ස්ථානයේ පිහිටි භෞමික ඇන්ටනාවකින් ප්‍රථම වරට සාර්ථකව සම්බන්ධීකරණය කර ඇත. එය නිසි ආකාරයට ස්ථාන ගත වී ක්‍රියාත්මකවීමට සති දෙකකට වැඩි කාලයක් ගත වේ. වසර 10 ක් ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කරන මෙම දුරේක්ෂය  ඊලග පරම්පරාවේ දූරේක්ෂය ලෙසද හදුන්වයි.

ජේම්ස් වෙබ් දුරේක්ෂය මෙතෙක් කල් ප්‍රකටව පැවැති හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තික උපකරණයක් ලෙස විද්‍යාඥයෝ හදුන්වා දෙයි. නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය එක්ව මෙම දුරේක්ෂය නිපදවා තිබේ. මෙය මෙතෙක් පවතින අභ්‍යාවකාශ දුරේක්ෂවලට වඩා සිය වාරයක් ප්‍රබල බවද වාර්තා සඳහන් කරයි. වසර බිලියන 13කට පෙර විශ්වය බිහි වීමට මුල් වූ මහා පිපිරීම යනුවෙන් හැඳින්වෙන අවස්ථාවේ සිට සිදු වූ සියලු දෑ මෙම දුරේක්ෂයෙන් දැන ගැනීමට හැකි වනු ඇති බව සදහන්ය.