2021 වසර පසු විපරම - කොවිඩ් 19 වසංගතය, එන්නත්කරණය හා ලෝක ආර්ථිකය

2021 වසර ආරම්භ වූයේ කොවිඩ් 19 වසංගතය හා එයට එරහිව ආරක්ෂාවීමට ගන්නා ක්‍රියා මාර්ග සමඟය. මේ වන විට වසංගත තත්ත්වය යටතේ ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව විසිඅට කෝටිය කරා පැමිණ තිබේ. ඔවුන් අතරින් පනස් හතර ලක්ෂයකට වැඩි පිරිසක් අවාසනාවන්ත ලෙස  ජීවිත ගමන නිමා කළහ. ශ්‍රීලංකාව තුලද මේ වන විට කොරෝනා රෝගීන් 584,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ඉන් මරණ 14,800 කට අධික ප්‍රමාණයක් සටහන්ව ඇත.

කොවිඩ් 19 වසංගතයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. දැනට ‍දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව අටසිය අසු පස් කෝටියක් පමණ වේ. එනම්, බිලියන නවයකට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රීලංකාවේ 2021 වසර අවසන් වන විට මිලියන 33.2 කට අධික එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇත. මුළු ජනගහනයෙන් 63.1% ප්‍රතිශතයක් එනම් මිලියන 13.8 ක ප්‍රමාණයක් මාත්‍රා දෙකම සම්පුර්ණ කර පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර බුස්ටර් එන්නතද මේ වන විට 3.3 මිලියන ජනතාවකට ලබා දී ඇත.

වසංගතයෙන් වැඩිම පිරිසක් ආසාදනයට ලක් වූ මෙන්ම වැඩිම මරණ සංඛ්‍යාව ද වාර්තා වී ඇති අමෙරිකාවේය. මිලියන 52 ඉක්මවා කොවිඩ් ආසාදනයට ලක්වූවන් අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර තවද මරණ ලක්ෂ 8 ඉක්මවා වාර්තා වී තිබේ. ඔවුන් දැනට දී ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන පන්සියයකට ආසන්නය.

ලෝකයේ රටවල් 184ක දැනට එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මකය. එන්නත් දීමේදී සමානාත්මතා පදනමකින් එය සිදු නොවීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද පෙන්වා දෙන්නා වූ බරපතළම හා අවධානයට ලක් විය යුතු කාරණයකි. ධනවත් හා බලවත් රටවල් මේ වන විට දෙමින් සිටින්නේ බූස්ටර් එන්නතය. එසේ වුව ද, පළමු මාත්‍රාව හෝ සම්පූර්ණ නොකළ රටවල් හතළිස් ගණනකි. මාත්‍රා දෙකම සම්පූර්ණ නොකළ රටවල් අනූගණනකි.

කොවිඩ් නවතම ප්‍රභේදය වන ඔමික්‍රොන් වාර්තා වූ අප්‍රිකානු කලාපයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශය මන්දගාමීය. එන්නත් ගැනීමට ඇති දුෂ්කරතාව ඊට බලපා ඇති ප්‍රධානම සාධකයයි. සෑම රටකටම අවශ්‍ය එන්නත් සපයාදීම සම්බන්ධයෙන් WHOයට පැවරුණේ ද අභියෝගාත්මක මෙහෙවරකි. තවමත් එය ප්‍රමාණවත් නොවන බව පැහැදිලි කාරණයකි. ලොව ඉහළම ආදායම් උපයන රටවල එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රගතිය හා වේගය අඩු ආදායම්ලාභී රටවලට වඩා දස ගුණයකින් ඉහළය.

එන්නත්කරණ වැඩසටහන් ඉදිරියට යමින් තිබියදී, නව කොවිඩ් ප්‍රභේද හා විකෘතීන් හමුවෙමින් තිබීම බරපතළ කාරණයකි. වසංගතය හේතුවෙන් වැඩිම පිරිසක් ආසාදිතයන් බවට පත්කළේ ද මරණයට පත් කළේ ද ඩෙල්ටා ප්‍රභේදයයි. එහි ව්‍යාප්තිය ඇල්පා, බීටා ආදී ඊට පෙර හඳුනා ගත් ප්‍රභේදවලට වඩා බොහෝ වේගවත් විය. නවතම ප්‍රභේදය වශයෙන් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් ප්‍රභේදය ඔමික්‍රොන්, ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඇත. වසංගත විශේෂඥයන් පවසන පරිදි වසංගතය පාලනය කිරීම සඳහා නම් කවර හෝ රටක් සිය එන්නත්කරණ ඉලක්ක 70% ක්වත් ඉක්මවා යා යුතු බවය. වසංගතය පාලනය කළ රටවල් සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරමින් සාමාන්‍ය දෛනික ජීවිතය පවත්වා ගැනීමට වෑයම් කළ ද නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමඟ යළිත් එම රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

කොවිඩ් 19 නිසා ඇති වූ තත්වයන් හෙයින් ලෝකයේ රට වල ආර්ථිකය ද දැඩි ලෙස 2021 වසරේ පසු බැසීමට ලක්විය. එය සංවර්ධනය වෙමින් පවත්නා රටවලටම පමණක් නොව දියුණු රටවලට ද විශාල පසුබෑමක් ඇති කළ බලපෑමකි. අමෙරිකාවෙන් වසර 40කින් මෙපිට වාර්තා වූ ඉහළම උද්ධමනය වාර්තා විය. එය පෙර වසරට වඩා 6.8%ක ඉහළ නැඟීමකි. අමෙරිකානුවන් ලක්ෂ 5ත් 70ත් අතර පිරිසකට වසංගත තත්ත්වය තුළ රැකියා අහිමි වී ඇතැයි වාර්තා වේ. විරැකියා අනුපාතය 4.2%කි.

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා වශයෙන් භේදයෙන් තොරව ලෝකය විශාල ණය බරකින් පෙළෙමින් ඇති අයුරු IMF නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල පිළිබිඹු වේ. එය ගණනය කර ඇත්තේ ඇ. ඩොලර් ට්‍රිලියන 226ක් වශයෙනි. සංවර්ධිත රටවල මේ තත්ත්වය යම්දුරකට පාලනය කර ගැනීමට සමත්ව ඇතත්, ලොව බහුතරයක් වන සෙසු රටවල් සම්බන්ධයෙන් එය බලපා ඇත්තේ අතිශය පීඩාකාරී අන්දමිනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද ඇතුළුව භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ලෝකය මේ තරම් විශාල ණය බරකින් පීඩා විඳින්නේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුවය. ගෝලීය ණය ඉහළයාමේ ප්‍රතිශතය 28%කි. භාණ්ඩ මිල ඉහළ යාමට කොවිඩ් 19 නිසා ඇති වී ඇති බලපෑම් විශාල ලෙස හේතු වී තිබේ. ඒ ඒ රටවල ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ද ඊට බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවැනි පසුබිමක විරැකියාව ද ඉහළ යමින් තිබීම අර්බුදකාරී තත්ත්වයකි. ලෝක ආර්ථිකය අයහපත් තත්ත්වයක තිබීම හා විශාල පසුබෑමකට ලක්ව තිබීම 2021 වර්ෂය මෑත භාගයේදී අප පසුකළ දුෂ්කරම වසරක් ලෙස එය ඉතිහාසයට එක් කිරීමට හේතුවී තිබේ. වසංගතය විසින් සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල වියදම් විශාල ලෙස ඉහළ දැමූ අතර, ආර්ථික වසංගතයක් ලෙස ඇති වී තිබෙන තත්ත්වය හැඳින්වීමට ද විචාරකයෝ කටයුතු කළහ.