මහින්ද රාජපක්ෂ - ආසියාවේ පරිණතම දේශපාලන නායකත්වය

1945 නොවැම්බර් 18 මෙලොව එළිය දුටු මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. කොළඹ නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඇති එතුමා 1970 දී පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ වයස අවූරුදු 24 ක්  ව පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් හම්බන්තොට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමිනි. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය. තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේ ය. 1994 වසරේදී මෙරට කම්කරු ඇමැතිවරයා ලෙසත් ඉන් පසුව ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ එතුමා 2001 වසරේදී විපක්ෂ නායක ධුරයට පත් වීය. 2004 වසරේදී පැවැති මහා මැතිවරණයට පසුව එතුමා ප්‍රථම වරට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීය.

ජේ.ආර් ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන විධායක ජනාධිපතිවරුන්ට පසු 2005 ජනාධිපතිවරණයෙන් ජය ලබා ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති හා විලියම් ගොපල්ලව මැතිතුමාත් සමඟ සැලකීමේදී 6 වෙනි ජනාධිපතිවරයා ලෙස ධුරයට පත් වන මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයේ දිවූරුම් දෙන්නේ 2005 නොවැම්බර් 18 සිය 60 වන ජන්ම දිනයේදීය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනතාව ඉල්ලා සිටියේ රට බිහිසුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ගෙන් මුදා දෙන ලෙසය. දෙස් විදෙස් බලවේග හමුවේ නොබියව තීන්දු තීරණ ගෙන රට කුරිරු කොටි ත්‍රස්ත්‍රවාදීන්ගෙන් වසර කිහිපයකින් ගලවා ගන්නට එතුමාට සේනාධිනායකයා ලෙස 2009 දී හැකි වීය.

පසුව 2010 ජනාධිපතිවරණය අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර එතුමා මහින්ද චින්තන වැඩපිළිවෙළ ඉදිරිපත් කර මුළු රටම ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යාමේ සංවර්ධන සංග්‍රාමය ආරම්භ කර ශ්‍රී ලංකාව පුරාවට වේගවත් සංවර්ධනයක් ඇති කරන ලදී.  නමුත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් පත් වූ අතර එම පරාජය පිළිගෙන එතුමා සිනා මුසු මුහුණින් ජනතා මතයට ගරු කර ඊට පසු දින උදෑසනම අරලියගහ මැදුරේ සිට මැදමුලන මහගෙදරට යන ලදී.

2015 ජනවාරි පත් වූ යහපාලන ආණ්ඩුව පත්ව මාස කිහිපයක් නිමා වන විට රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අගය දැනෙන්නට විය. ඒ අගය වැඩි කිරීමට මහින්ද සමඟ නැඟිටිමු, මහින්ද සුළග, නුවර සිට කොළඹ දක්වා පැමිණි ආණ්ඩු විරෝධී පා ගමන, උද්ඝෝෂණ පෙළපාලි සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හේතු විය. 2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යළිත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම එතුමාගේ දෙවන දේශපාලන පුනරාගමනයේ ආරම්භයය. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51කගේ මුලිකත්වයෙන් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන් අතර යහපාලන ආණ්ඩුව රට අගාධයට ගෙන යාමේ වැඩපිළිවෙළ ගැන ඒකාබද්ධ විපක්ෂය රට දැනුම්වත් කරමින් ඊට එරෙහි ජනමතය නිර්මාණය කිරීම සිදු කරන ලදී.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතා ආකර්ෂණය දේශපාලන පක්ෂයක් බවට පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ අසමසම සංවිධාන ශක්තියෙන් 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙරට ජනතාව පළාත් පාලන ආයතන 340න් ආයතන 239ක ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා දෙන ලදී.

2018 වසර අග භාගය වන විට මේ රටේ මුළු මහත් ජනතාවටම මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන්ට පවා මහින්ද රාජපක්ෂ මහතාගේ අගය දැනෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 2018 ඔක්තෝබර් මස 26 වැනිදා දෙවන වරටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වීමය. එය දින 51 කට සීමා වූවද රටේ ජනතාවට යළිත් මහින්ද රාජපක්ෂ යුගයක රිදී රේඛාවක් දක්නට ලැබුණි.

2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ආපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති මහජන සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ලබා දෙමින් එතුමා 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රිලංකාවේ 7 වන විධායක ජනධිපතිවරයා බවට පත්කිරිමෙහි යෝධ ශක්තිය බවට පත්විය. එත් සමඟම මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයේ දිවූරුම් දුන්නේ සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය.

2020 මහා මැති­ව­ර­ණ­යේදී  මැති­ව­රණ ඉති­හා­ස­යට නව වාර්තා­වක් එක් කර­මින් සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙමින් මහින්ද රාජ­ප­ක්ෂ­ය මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස මෙරට පොදු ජනතාව නැවත නැවතත් පත් කර ගන්න ලදී.

මෙරට විධායක ජනාධිපති ධුරය දෙවරක් දැරූ , දෙවරක් විපක්ෂ නායක ධුරයට පත් වූ සිවූ වරක් රටේ අගමැති ධුරයට පත් වූ එකම දේශපාලන නායකයා වන්නේද මහින්ද රාජපක්ෂ මහතා පමණි.පොදුජන හදවත්වල රිද්මය හොදින් හඳුනන, දේශීයත්වය අගයන, උපන් රටට පණ මෙන් ආදරය කරන මහින්ද රාජපක්ෂ නාමය මෙරට ජන හදවත්වල කිඳා බැස ඇත්තේ එතුමා සතු උත්තුංග ගුණාංග රැසක් නිසාවෙනි.