! Notice to all our readers in Sri Lanka

Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue.

We went offline because it is useless, if you can't reach us. By considering requests of users we came online again, but we have closed new user registration & comment/ content posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.

We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.

Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

Sri Lanka Post - ශ්‍රී ලංකා තැපැල් සේවය

admin's picture

 

 

 

 

 

පුරා වසර 213 (1798-2011) ක පමණ ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා තැපැල් සේවය මිනිසා විසින් සන්නිවේදන ක්‍රම ලොවට හඳුන්වාදුන් ප්‍රථම අවධියේ සිට පැවත එන්නා වූ  සේවාවකි. ලන්දේසි සමයෙන් ඇරඹි, ඉංග්‍රීසි යටත් විජිත ස‍මයේ විධිමත් ලෙස ස්ථාපනය වූ ශ්‍රී ලංකා තැපෑල, නිදහසින් පසුව, ‘දිවයිනේ වැඩිම ශාඛා ජාලයකට හිමිකම් කියන සහ සමස්ත දිවයිනම ආවරණය කරනු ලබන එකම රාජ්‍ය ආයතනය වනවා සේම, දිනපතා ගෙයින් ගෙට ගොස් මහජන සේවය සපයන එකම රාජ්‍ය සේවකයා ද වේ.’

දීර්ඝ කාලීන අතීතයක්‌ තැපෑල සතුව පවතී. එය විජය රජු සමය තෙක් ම විහිදී යයි. දියුණු ක්‍රම භාවිතා නොවුණ ද සන්නිවේදන මාර්ග ලෙස ඔව්හු විවිධ ක්‍රම යොදා ගත්හ. ශිලා ලේඛන ඉන් එක් ප්‍රධාන මාර්ගයකි. රාජ නීති, ආඥා තීන්දු, තීරණ, නීති රෙගුලාසි, යුද අවස්ථා දැන ගැනීමට ශිලා ලේඛන බෙහෙවින් යොදා ගෙන තිබිණි. එමෙන් ම පණිවුඩකරුවන්, අණ බෙරකරුවන්, පක්ෂීන් මෙන් ම සිව්පාවුන් ද යොදා ගෙන ඇති අතර කන්දක් මුදුනේ දුම් ගැස්වීමෙන් සතුරන් එන බව දැනුම් දීම වැනි සන්නිවේදන මාර්ග ද විය.

රජුගේ හෝ රාජ්‍ය නිලධාරීන් ගේ පණිවුඩ තල්පත්වල ලියා හීයක් මාර්ගයෙන් තවත් හී පොළකට විදීම පණිවුඩ යැවූ තවත් මාර්ගයකි. රහස්‍ය පණිවුඩ යවන විට පුස්කොළය ඔතා ඇති ලණු පටවල වාර ගණනින් පණිවුඩය ලබන කෙනා පිළිබඳ ඉඟියක් ද ලැබෙන ක්‍රමයක් එදා විය. ඒ සඳහා ලියැවුණ ගාථාවක් ද විය.

එකං ශත්‍රැ ද්වයං මිත්‍රං
ත්‍රීණි බන්ධුම් චතුර් ප්‍රභූං
පඤ්ච මාතා පිතා බ්‍රාත්‍රිණං
ෂඩ් ගුරුම් සප්ත භූපතිම්

එනම් එක් වරපටයක් නම් එය සතුරාට ය. දෙකක් නම් මිතුරාට ය. තුනක් නම් නෑයකු සඳහා ය. වරපට හතර යොදනුයේ ප්‍රභූන්ට වන අතර, පහක් යොදනුයේ පියාට මවට හෝ සොයුරාට, සොහොයුරියට ය. හය වරක් නම් එය ගුරුවරයාට ය. වරපට හත් වරක් ඔතා ඇත්නම් එය ලැබිය යුත්තේ රජතුමා ය.

සිංහල රජ දවස සන්නිවේදනය මේ ආකාරයෙන් සිදු වූ අතර පරදේශක්කාරයන් මෙරට යටත් කර ගැනීමත් සමඟ තැපෑල ක්‍රමවත්, විධිමත් හා නිත්‍ය සේවයක් ලෙස ක්‍රමයෙන් මෙරට ස්ථාපිත වන්නට විය. දාහත් වන සියවසේ අග භාගයේ දී ලන්දේසින් සිය යටත් විජිත අතර පණිවුඩ හුවමාරුව සඳහා විශේෂ බෝට්ටු සේවයක් ආරම්භ කර තිබේ. එය හඳුන්වා ඇත්තේ ‘පැකට් බෝට්ටු සේවය’ නමින් ය. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගත් ලන්දේසීහු රට අභ්‍යන්තරයේ පණිවුඩ හුවමාරුව සඳහා තැපැල් කාර්යාල පහක් පිහිටුවා ගත්හ. කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල ප්‍රධාන තැපැල් කාර්යාල පිහිටවූ අතර පසුව සෙසු ප්‍රදේශ කීපයකද තැපැල් කාර්යාල පිහිටුවන්නට විය. ලන්දේසින් අතින් බ්‍රිතාන්‍යය වෙත ලංකාව ගිලිහෙද්දී ඉතා හොඳින් ක්‍රියාත්මක වූ තැපැල් සේවාවක් මෙරට තිබුණ බවට සාක්ෂි ඇත. 1789 දී ඕලන්ද ජාතිකයන් විසින් පනවා තිබූ තැපැල් රෙගුලාසි අඩංගු  ලේඛනයක් ඒ බව තහවුරු කරයි. ලන්දේසි පාලන සමයේ මෙරට තැපැල් කාර්යාල පැවැති බවත් එම කාර්යාල භාර ප්‍රධානීන් තැපැල් ස්‌ථානාධිපති වරුන් ලෙස කටයුතු කළ බවත් ඉහත ලේඛනයේ සඳහන් වේ.

ලන්දේසි පාලන සමයේ තැපැල් සේවයේ ආරම්භය සිදුවූවත් අද පවතින තැපැල් දෙපාර්තමේන්තුවේ ආරම්භය සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. 1798 කැප්ටන් කෙනඩි මෙරට ප්‍රථම තැපැල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. මෙම සමයේ කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගර තුළ තැපැල් කාර්යාල පහක්‌ ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තැපැල් ගාස්‌තු අයකරනු ලබන්නේ 1799 වසරේදීය. මෙරට ආණ්‌ඩුකාරවරයා විසින් ප්‍රසිද්ධ දැන්වීමක්‌ මගින් පනවා ඇති රෙගුලාසි තුළින් ඒබව දැක්‌වේ. ආණ්‌ඩුකාරවරයා සහ ප්‍රධාන අණදෙන නිලධාරි ඇතුළු රජයේ උසස්‌ නිලධාරීන්ගේ අත්සන් සහිත ලිපි සහ ඔවුන් වෙත ලැබෙන්නා වූ ලිපි ඇතුළු රජයේ සේවයට අදාල ලිපි තැපැල් ගාස්‌තුවෙන් නිදහස්‌ කර ඇත. අනෙකුත් සියලුම ලිපි ලේඛන සඳහා තැපැල් ගාස්‌තු අයකර ඇත.

මුලින් ම පදික තැපැල්කරුවන් මඟින් කෙරුණු තැපැල් කටයුතු ක්‍රමයෙන් ගොනුන් බැඳි කරත්ත දක්වාත් එතැනින් තවලම්, අශ්ව කරත්ත, පාපැදි මෝටර් රථ, දුම්රිය, නැව් හා ගුවන් මඟින් ද කිරීමට තැපැල් ෙ දපාර්තමේන්තුව කටයුතු කර තිබේ. තැපැල් කටයුතු සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයෝ මුල් කාලයේදී වෙළෙඳ නෞකා යොදා ගත්තත් 1850 වනවිට ඒ සඳහා වෙනමම නෞකා යොදා ගත්හ.

ඔවුන් පළමු වරට ඒ සඳහා ගිවිසුමක් ඇතිකරගනු ලැබුවේ පෙනිසියුලා ඇන්ඩ් ඔරියන්ටල් ස්ටීම් නැව්ගේෂන් සමාගම සමඟය. මුලින්ම ලන්ඩනය, ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව සූවස් ඇළ හරහා මදුරාසිය, කොළඹ, ඉන්දුනීසියාව හා ජාවා දූපත් ඔස්සේ ඕස්ට්‍රේලියාව සිඩ්නි හා මෙල්බර්න් හරහා දිවෙන මාර්ගයක් යොදා ගනු ලැබිණි. පසුව විවිධ නැව් මාර්ග ඔස්සේ විවිධ සමාගම් සමඟ තැපැල් ප්‍රවාහන කටයුතු සිදුකර ඇති අතර ලංකාව ද විවිධ සමාගම් හා එක්ව තැපැල් ප්‍රවාහන කටයුතු කර තිබේ.

1914 දී ඉන්දු ලංකා ජංගම තැපැල් කාර්යාලය ආරම්භ වන්නේ තැපැල් කටයුතු තවත් කාර්යක්ෂම ඉටු කිරීමටය. ඒ අනුව කොළඹ සිට මදුරාසිය දක්වා මේ ජංගම තැපැල්හල ක්‍රියාත්මක වූ අතර කොටුව දුම්රිය ස්ථානය කොළඹ සිට මදුරාසියටම සිය ප්‍රවේශ පත්‍ර නිකුත් කළේය. මේ දුම්රියෙන් තැපෑල වගේම මඟීහු ද ගමන් ගත්හ. කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රියෙන් ද එතැන් සිට ධනුෂ්කොඩි දක්වා බෝට්ටුවෙන් ද ධනුෂ්කොඩි සිට මදුරාසිය දක්වා නැවත දුම්රියෙන් ද ගමන් ගැනීමට තැපෑලට මෙන්ම මඟීන්ට ද අවසර ලැබිණි.

තැපැල් නිලධාරීන් එලෙස මදුරාසිය තෙක් ගෙන යන තැපැල් මලු එතැන් සිට කරච්චිය බලා ගුවන් ගත වෙයි. එම තැපැල් මල්ලේ ඇති ලන්ඩනයට යා යුතු ලිපි නැවතත් කරච්චියේ සිට ලන්ඩනයට යන්නේ ද ගුවනින් ය. ඒ අනුව කොළඹ සිට ලන්ඩනයට දින පහළොවක් ඇතුළත ලිපියක් යැවීමට ඉන්දු ලංකා ජංගම තැපැල් කාර්යාලයෙන් හැකියාව ලැබිණි.

ආසියාවේ පළමු තැපැල් අශ්ව රථ සේවාව ශ්‍රී ලංකාවේ ඇරඹි අතර ඒ, 1832 දී  කොළඹ සිට මහනුවර දක්වා ය. අනතුරුව දුම්රිය මගින් තැපැල් ප්‍රවාහනය කි‍රීම 1865 දී කොළඹ සිට අඹේපුස්ස දක්වා ආරම්භ කළ අතර ප්‍රථම ජංගම තැපැල් දුම්රිය 1892 දී කොළඹ සිට‍ පේරාදෙණිය දක්වා  ගමන් කළේය. ප්‍රථම ගුවන් තැපෑල සනිටුහන් කරමින් කොළඹ සිට ඉන්දියාව දක්වා ටාටා ගුවන් තැපෑලක් ගුවන්ගත වූ අතර කොළඹට සෘජුවම ගුවන් තැපෑලක් හිමිවූයේ 1936 වසරේදීය.

ලෝකයේ ප්‍රථම තැපැල් මුද්දරය භාවිතයට ගැනුණු රට වශයෙන් සැලකෙන්නේ එංගලන්තයයි. පෙමි බ්ලැක්‌ නමින් හැඳින්වූ එම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස 1 ක්‌ විය. දැති රහිත මුද්දරයක්‌ වූ එයින් වික්‌ටෝරියා රැජිනගේ ශීර්ෂය නිරුපණය විය. අතීතයේදී තැපැල්කරුවාට මුදල් ගෙවනු ලබන්නේ ලිපිය හෝ පාර්සලය ලබන තැනැත්තා විසින්ය. එකල ද බර හා දුර ප්‍රමාණය අනුව මුදල තීරණ වූ අතර එය අධික මිලක් විය. එබැවින් එම සේවය ලබන්නා කල්යාමේදී මුදල් නොදී සිටීම හා සේවය බාර නොගෙන සිටීමෙන් විවිධාකාර ප්‍රශ්න ගැටුම් ඇතිවිය. මුද්දරය බිහිවුණේ ඊට විසඳුමක් ලෙසය. ශ්‍රී ලංකාවේ 1857 අප්‍රේල් 01 දා පැන්ස 6 ක වටිනාකමින් යුතුව වික්ටෝරියා රැජිණගේ උඩුකය සහිතව පළමු තැපැල් මුද්දරය නිර්මාණය කෙ‍රිණි. රුපියල් ශත වලින් මුල්ම තැපැල් මුද්දරය බිහිවූයේ 1893 පෙබරවාරි  01 දා වන අතර එහි වටිනාකම ශත 2 ක් විය.  පළමු තැපැල්පත අලෙවි වූයේ 1872 අගෝස්තු 22 වැනිදාය. ශත 60 ක් වටිනා පළමු මුද්දර කවරය හඳුන්වාදෙනු ලැබුවේ 1900 වසරේදීය. 

අද මෙන් එදා ද, තැපැල් කාර්යාල කවුළු සහ තැපැල් පෙට්ටි මාර්ගයෙන් ලිපි භාර ගනු ලැබිණි. තැපැල් කාර්යාලවල ද තැපැල් පෙට්ටිවල ද කලින් කලට එංගලන්තයේ රජකළ රැජන හෝ රැජනගේ ඔටුන්න සහිත නම් කොටා තිබිණි. පිළිවෙලින් වික්ටෝරියා රැජන හා VII වන එඩ්වඩ්,V වන ජෝර්ජ්, VI වන ජෝර්ජ් යන රජවරුන්ගේ සංකේත සහ යකඩ තැපැල් පෙට්ටි ප්‍රධාන නගරවල සවි කෙරිණ. ඒවායේ ඇති ශක්තිමත් බව නිසාම අදටත් එම පෙට්ටි සවි කරනු ලැබූ ස්ථානවලම ඇති අතර ජනතාව හා තැපැල් දෙපාර්තමේන්තුව අදටත් තැපැල් කටයුතු සඳහා එම පෙට්ටි භාවිතයට ගනී. නිදහසින් පසු බ්‍රිතාන්‍යයෙන් ආ යකඩ තැපැල් පෙට්ටි වෙනුවට ලංකාවේ සවි කෙරුණේ සිමෙන්තියෙන් සාදනු ලැබූ තැපැල් පෙට්ටිය.

ශ්‍රී ලංකාව 1876 දී ලෝක පොදු තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගත් අතර එම සංගමය පිහිටුවනු ලැබුවේ 1874 ඔක්තෝබර් 09 වනදාය. ශ්‍රී ලංකාවේ විධිමත් තැපැල් නීතිය  1908 අංක 11 දරණ පනත යටතේ ස්ථාපිත විය.  ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගතව ඉහළට පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකික තැපැල්පතිවරයා වූයේ ඒ. ජේ පෙරේරා මහතාය. 1936 වර්ෂයේදී ඇරඹි, තැපැල් හැඳුනුම්පත එවකට තිබූ අනන්‍යතාවය තහවුරු  කිරීමේ වැදගත් හා පිළිගත් හැඳුනුම්පත විය.

1857 වනවිට විදුලි සංදේශ සේවය ද තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ විය. ඒ අනුව ප්‍රථම විදුලි සංදේශ පරිපථය ඉදිකරනු ලැබුවේ කොළඹ සිට ගාල්ල දක්වාය. එතැන් සිට ව්‍යාප්ත වූ විදුලි සංදේශ පද්ධතිය 1880 තෙක් මෙරට පවත්වාගෙන ගියේ ඉන්දීය රජයයි. 1880 දී ඉන්දීය රජය ලංකාවට මෙය බාර දෙන විට දුරකථන රැහැන් සැපයුම් 1653 කින් හා විදුලි සංදේශ රැහැන් සැතපුම් 3366 කින් සමන්විත විදුලි සංදේශ ක්‍රමයක් මෙරට පැවැතිණි.

ක්‍රමක්‍රමයෙන් හෙමින්  ගලාගෙන ආ තැපෑල 80 දශකයේ ශ්‍රී ලංකාව තුළ විවෘත ආර්ථිකය ස්ථාපිත වීමත් සමග  විවිධ අවස්ථාවන්ට මුහුණ පාමින් වේගයෙන් ඉදිරියට පැමිණියේය. අද වන විට තැපැල් සේවය අන්තර් ජාලයත් සමග වේගවත් වී ගමන් කරන අතර ඇතැම් අවස්ථාවලදී තත්ත්පර ගණනකින් සේවා සපයන්නෙක් ද වී තිබේ. එහෙත් නූතන සන්නිවේදන විධික්‍රම ද තැපෑලට බලවත් බලපෑමක් එල්ලකර තිබේ. ඊට හොඳම උදාහරණය නම්  තැපෑලේ ප්‍රධාන සේවාව වූ ලිපි හුවමාරුව, ෆැක්ස් යන්ත්‍රය, ජංගම දුරකතනයේ කෙටි පණිවුඩ හා ලාභදායී සාකච්ඡා මගින් උදුරාගෙන තිබේ.  රාජකාරී ලිපි කෙසේ වුවද අද වන විට පෞද්ගලික ලිපි හුවමාරුව සිදුවන්නේ අල්ප මාත්‍රිකවය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසුන් අතර පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා විවිධ උපක්‍රම යොදාගත් බවට සාධක තිබේ.  කෙසේ වෙතත් පණිවුඩ හුවමාරුව සඳහා තැපෑල යන සංකල්පය මුලින්ම භාවිතා කර ඇත්තේ ඊජිප්තු ශිෂ්ඨාචාරිකයන් (ක්‍රි.පූ. 4000- 2500) විසිනි.  චිත්‍රාක්‍ෂර කොටනලද මැටි පුවරු සහිත ලිපි මගින් මොවුහු පණිවුඩ හුවමාරු කරගත්හ. අක්ෂර භාවිතය, රාජ්‍යත්වයේ වර්ධනය, ජාත්‍යන්තරව වෙළඳාම ව්‍යාප්තවීම හා නාගරීකරණය, පණිවුඩ හුවමාරු ක්‍රම තවදුරටත් වර්ධනය වීමට හේතු විය. යුරෝපයේ ඇතිවූ පුනරුදයත් සමග ආරම්භ වූ දේශ ගවේශණය, ජාත්‍යන්තර වෙළඳාම හා  විශ්ව විද්‍යාල වැනි ආයතන නිසා, වඩාත් කාර්යක්‍ෂම පණිවුඩ හුවමාරු ක්‍රමවල අවශතාවය දැණුනි.  මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව. 16 වන සිය වස පමණ වන විට විධිමත් තැපැල් හුවමාරු ක්‍රමයන් ලොව බිහිවී තිබේ.

තැපැල් කෞතුකාගාරයට දැන් වයස අවුරුදු දාහතකි. මේ කෞතුකාගාරය මුලින්ම පටන් ගත්තේ 1994 දීය. ඒ කොටුව ජනාධිපති මාවතේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ ය. ඩී. ආර්. විෙ-වර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ බිම් මහලේ ඉදිකළ ලංකාවේ ප්‍රථම තැපැල් කෞතුකාගාරය 2010.07.06 දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කොට ජනතා අයිතියට පත්කරන ලදී. රජයේ නිවාඩු දින හැරෙන්නට කාර්යාල වේලාව ඇතුළත ඕනෑම වෙලාවක කෞතුකාගාරය නැරඹීමට ඒමට ජනතාවට දැන් පුළුවන.

ලිපි සැකසුම - අන්තර්ජාලය ඇසුරෙනි

Comments

POSTAL SERVICE OFFICERS

interview eke aluthma wisthara kiyanawada ?

postal department vacancies

can you keep a message when postal department recruits